ආරක්‍ෂක අමාත්‍යාංශ මහජන දිනයේදී ආරක්‍ෂක ලේකම්වරයා රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් හමුවෙයි

ජනවාරී 30, 2026

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඇති අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් පැවැත්වූ මහජන දින වැඩසටහන අද (ජනනවාරි 30) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම මහජන දින වැඩසටහන මගින් විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ට මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට තමන් මුහුණ දෙන ගැටළු මෙන්ම ඔවුන්ගේ සුභසාධනයට අදාළ කරුණු සෘජුවම ආරක්‍ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.

මෙහිදී ඉදිරිපත් වූ ගැටලුවලට, එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විශේෂ අවධානයක් යොමු කරමින් සමාලෝචනය කළ අතර, ඒවාට කඩිනම් සහ ඵලදායී විසඳුම් ලබාදීම සහතික කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ද, අදාළ අමාත්‍යාංශ නිලධාරීන් හට උපදෙස් දුන්නේය. රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් දැනට පවතින සුභසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මහජන දින වැඩසටහන, විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීමටත් නිදහස් රටක් වෙනුවෙන් සිය උත්තරීතර ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සිදු කළ කැපකිරීම් ඇගයීමට ලක් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ උත්සාහයේ තවත් ශක්තිමත් පියවරකි.