විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ
ප්‍රගතිය සමාලෝචනය කෙරේ

පෙබරවාරි 27, 2026

විදේශ ආපදා සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 26) දින කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී රැස්වූහ.

විදේශ රටවලින් ලැබුණු ආපදා සහනාධාර අදාළ රාජ්‍ය ආයතන වෙත ලබාදීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම මෙන්ම විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

ආපදා සහන ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ ක්‍රියාත්මක වන අතර එහි ක්‍රමානුකූලභාවය හා විනිවිදභාවය තහවුරු කිරීම පිළිබඳව කමිටු සාමාජිකයෝ පුළුල් වශයෙන් සාකච්ඡා කළහ.

තවදුරටත් ගබඩා වල රඳවා තිබෙන භාණ්ඩ, එම ද්‍රව්‍ය වල අවශ්‍යතා හඳුනා ගනිමින් බෙදාහැරීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටියේය. විදේශ සහනාධාර ලැබීමේ, ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ථ කිරීමේ අරමුණින් සකස් කරන ලද දත්ත පද්ධතියේ නිරවද්‍යතාවය සහතික කරන ලෙසත් එම පද්ධතියේ දත්ත පිළිබඳ විගණන කටයුතු අදාළ පරිදි සිදු කරන ලෙසත් නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

එමෙන්ම විදෙස් රටවල් වලින් ආපදා සහන හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට ලබා දුන් විශේෂ භාණ්ඩ හා උපකරණ අදාළ පරිදි ත්‍රිවිධ හමුදාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන්නේය.

තවද මෙම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා අදාළ සියලුම ආයතන අතර මනා සහයෝගීතාවයකින් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව අවධාරණය කල නියෝජ්‍ය අමාත්‍යවරයා, එම කටයුතු වල කාර්යක්‍ෂමතාව, වගවීම සහ ප්‍රතිචාරාත්මක බව සහතික කිරීම සඳහා රජය බැඳී සිටින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.