ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සර පදක්කම් ප්‍රධානෝත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ආර‍ක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙ‍න්

මාර්තු 03, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සර සැමරුමට සමගාමීව සංවිධානය කරන ලද සමරු පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (මාර්තු 03) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී වූ අතර ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට එක්වූයේය.

එහිදී අප රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටුකළ විශිෂ්ඨ සේවය, කැපවීම සහ පරිත්‍යාගයන් අගය කිරීම ද සිදු විය. ඒ අනුව, තම සේවා කාලය තුළ දැක්වූ සුවිශේෂී දක්ෂතා, වීරත්වය සහ දීර්ඝකාලීන සේවය අගයමින් නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් වෙත සංකේතාත්මකව පදක්කම් පිරි නමනු ලැබීය.

මෙහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාතික ආරක්‍ෂාව, ආපදා සහන මෙහෙයුම් සහ මානුෂීය සහනාධාර කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන නොසැලෙන කැපවීම ඇගයීමට ලක් කළේය. අභියෝගාත්මක කාලසීමාවන්හිදී රට ආර‍ක්‍ෂා කිරීමට මෙන්ම ජාතික සංවර්ධන මුලපිරීම් සඳහා සහය වීමට ගුවන් හමුදාව ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීයභාවය සහ අඛණ්ඩ කැපවීම ආර‍ක්‍ෂක ලේකම්වරයාගේ ද ඇගයීමට ලක් වූ අතර, මෙම 75 වසරක ඓතිහාසික සන්ධිස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දරාගැනීමේ හැකියාව, පරිණාමය සහ විශිෂ්ඨ සේවාව පිළිබඳ සාක්‍ෂියක් බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතිය වෙනුවෙන් ඉටුකරන සේවයේ නව පරිච්ඡේදයකට පිවිසීම සනිටුවහන් කරමින්, එහි අභිමානය සහ ප්‍රෞඪ උරුමය විදහා දක්වන අයුරින් හමුදා චාරිත්‍රානුකූලව මෙම උත්සවයේ කටයුතු නිමාවට පත් විය.

.