ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සර සැමරුම් උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි
මාර්තු 04, 2026ශ්‍රී ලංකා ගුවන් හමුදාව, දශක ගණනාවක් පුරා ජාතිය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සහ ගෞරවනීය සේවය අනුස්මරණය කරමින් පවත්වනු ලැබූ 75 වන සංවත්සර සැමරුම් උත්සවය, ඊයේ (මාර්තු 03) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. රට වෙනුවෙන් කැපවීමෙන් සහ පරාර්ථකාමී අරමුණු පෙරදැරිව කටයුතු කරන ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම, පරිත්‍යාගය සහ අභිමානවත් උරුමය සමරනු වස් මෙම උත්සවය ඊයේ සන්ධ්‍යාවේ අත්තිඩිය 'Eagles’ Lakeside' උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබිණ.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ගරු ආරාධිත අමුත්තෙකු ලෙස එම අවස්ථාවට එක්වූයේය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය විසින් එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
ජාතියේ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැක්වූ දායකත්වය සහ ඉතිහාසය මෙන්ම ජාතිය ගොඩනැගීමේ කාර්යයන්හිදී ඔවුන් ඉටුකළ අමිල කැපකිරීම් විදහා දක්වන ඉදිරිපත් කිරීමකින් උත්සවයේ කටයුතු ආරම්භ විය. එහිදී 75 වන සංවත්සර සැමරුම වෙනුවෙන් සිදු කෙරුණු සම්ප්‍රදායික කේක් කැපීමේ අවස්ථාවකින් අනතුරුව, ගුවන් හමුදාවේ 75 වසරක පරිණාමය සහ සේවයේ විශිෂ්ටත්වය රූපරාමු ඇසුරින් විස්තර කෙරෙන "Legacy Above Clouds" අනුස්මරණ ග්‍රන්ථය (Coffee table book) එළිදැක්වීම, උත්සවයේ සුවිශේෂී අංගවලට ඇතුලත් විය. අනතුරුව එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ලකඹර සුරකින විරුවන්ගේ අතීත, වර්තමාන සහ අනාගත උරුමයට ගෞරව කරමින් හා සුභපැතුම් එක් කරමින් හමුදා සම්ප්‍රදායානුකුල සව්දිය පිරීම සිදුකළේය.
මෙම අවස්ථාවට මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක, යුද හා නාවික හමුදාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන්, හිටපු ගුවන් හමුදාපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම සේවයේ නියුතු ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.