ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන දින වැඩසටහනක් මහනුවරදී
මාර්තු 09, 2026දේශය වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකළ විශ්‍රාමික, රණක්ෂිතයට පත් සහ යුද්ධයේදී තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය උදෙසා වෙන් වූ ‘මහජන දිනය’ වැඩසටහනට සමගාමීව, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (මාර්තු 07) දින මහනුවරදී විශේෂ මහජන දින වැඩසටහනක් පැවැත්විණි.
මෙම වැඩසටහනේදී සේවයේ නියුතු හමුදා සාමාජිකයන්ට, විශ්‍රාමික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට තමන්ගේ ගැටළු සහ ඉල්ලීම් සෘජුවම අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුණි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණ සිටි පිරිස සමඟ පෞද්ගලිකව සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටළුවලට සවන් දුන් අතර, ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටත්, ඒ සඳහා කාර්යක්‍ෂම ක්‍රියාවලියක් සහතික කිරීම සඳහාත් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
තවදුරටත් මෙම වැඩසටහන තුළින් විශ්‍රාමික, රණක්ෂිතයට පත් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය සහ පරිපාලන ක්‍රියාවලීන් සම්බන්ධ ගැටළු රැසකට විසඳුම් ලබා දෙන ලදි. දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ සමීපතමයන් වෙත අවශ්‍ය සහයෝගය සෘජුව සහ තිරසාර අන්දමින් ලබා දීම සඳහා අමාත්‍යාංශය ගෙන යන අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම මහජන දින සැසිය ඔස්සේ විශ්‍රාමික, රණක්ෂිතයට පත් සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය මෙන්ම, ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය සතු නොසැලෙන කැපවීම යළිත් තහවුරු විය. මවුබිමේ ස්වෛරීභාවය හා චිරස්ථිතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිදුකළ සේවය සහ උත්තරීතර කැපකිරීම් පිළිබඳව අමාත්‍යාංශයේ ඇති ගැඹුරු කෘතඥතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.