බීඩි කොළ සහ කහ සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට

ජුනි 09, 2021

බීඩි කොළකිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ඊයේ (ජුනි 08) දින මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ නාවික හමුදා භාරයට ගෙන ඇත.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රැගෙනවිත් වෙරළට ආසන්න ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ බීඩි කොළ සහ වියලි කහ තොගය උතුරු මැද නාවික විධානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

බීඩි කොළ තොගය පොලිතීන් උර 17 ක් තුළ සහ වියළි කහ පොලිතීන් උර 02ක අසුරා තිබී ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙ‍ම මෙහෙයුම සිදු කර ඇති අතර සැකකරු වයස අවුරුදු 41ක් වන එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනාගන්නා ලදි. අදාල සැකකරු, බීඩි කොළ සහ වියලි කහ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා වංකාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.