දියකාවා යුද අභ්‍යාසය XI – 2021 ආරම්භ වේ

සැප්තැම්බර් 04, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021 (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඊයේ (සැප්තැම්බර් 03) දින මින්නේරියේදී ආරම්භ විය.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී අදාළ ත්‍රිවිධ හමුදා ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙවර මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ‘ ජෛව බුබුළු සංකල්පය ‘ යටතේ පැවැත්වෙන බව යුද හමුදාව තහවුරු කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 11 වන වතාවටත් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාස සඳහා විදේශ හමුදා සාමාජිකයින්ද සහභාගී වන අතර ඒ අනුව මෙවර විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින් 2846 දෙනෙකු පමණ සහභාගී වේ.

මන්නාරම, විල්පත්තු, අරිප්පු, තුනුක්කායි, වව්නිකුලම්, නැදුන්කර්නි, චුන්ඩිකුලම්, නයාරු, තිරියාය, නිලාවේලි, තොප්පූර්, ඉලංකන්තෙයි, වාකරේ, තෝනිතට්ටුමඩු, නරකමුල්ල, කංචිකුඩිච්චිආරු, චෙන්කලඩි, දඹුල්ල, මොරගහකන්ද, මීමුරේ කොළඹ සහ දික්ඕවිට යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම යුද අභ්‍යාසය පැවැත්වේ.

දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021, සැප්තැම්බර් මස 25 දක්වා පැවැත්වෙන අතර එහි සමාප්තිය සැප්තැම්බර් මස 26 වන දින පැවැත්වීමට නියමිත බව ද යුද හමුදාව පවසයි.