කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්‍ෂිත මගී සේවාවක්

නොවැම්බර් 26, 2021

කුරින්ඥන්කර්නි පාලම අසල කලපු ප්‍රදේශයේ මගීන් සඳහා ආරක්‍ෂිත ප්‍රවාහන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (25) දින සිට ආරම්භ කරන ලදි.

කුරින්ඥන්කර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ ජනතාවට ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා මෙම සේවාව අලුතින් ආරම්භ කල බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව, එකවර මගීන් 25 දෙනෙකු ආරක්‍ෂිතව රැගෙන යා හැකි කලපු යාත්‍රාවක් නැගෙනහිර නාවික විධානයේ අධීක්‍ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ.

මගීන්ට යාත්‍රාවට ගොඩවීමේ පහසුකම් සැලසීම සඳහා තාවකාලික ජැටියක් ද  ඉදිකර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම යාත්‍රාව දිනපතා උදේ 7.00 සිට 8.00 දක්වා සහ දහවල් 12.00 සිට 2.00 දක්වා ලබාගත හැකි බව නාවික හමුදා මූලාශ්‍ර සඳහන් කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බව එහි තවදුරටත් සඳහන් වේ.

සබැඳි පුවත්