වවුනියාවේ තවත් පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

දෙසැම්බර් 08, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිය සමාජ සත්කාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වවුනියාවේ දිළිඳු පවුලකට අලුතින් නිවසක් ඉදිකර පසුගියදා භාරදෙන ලදී.

ඒ අනුව, වවුනියාව, ශාස්ත්‍රීකුලම් ප්‍රදේශයේ පදිංචි ගෝවින්ද ශාන්ත වඩිවේල් මහතා වෙත නිවස භාර දීම සංකේතවත් කරමින් නිවසේ යතුර ලබා දෙන ලදී.

කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය උඩුදුම්බර සෝභිත හිමියන් විසින් මේ සඳහා අනුග්‍රහය ලබා දී ඇති අතර වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ උපදෙස් පරිදි 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් තාක්ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දී ඇති බව යුද හමුදාව පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පැවති නිවස භාරදීමේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.