යුද හමුදාව කුට්ටිගල අක්කර 200ක පොල් වගා කරයි

දෙසැම්බර් 27, 2021

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර කුට්ටිගල යුද හමුදා ගොවිපල පරිශ්‍රයේ අක්කර 200 ක භූමි ප්‍රමාණයක පොල් පැළ සිටුවා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ බලකාධිපති බ්‍රිගේඩියර් එච්.ඒ.පී.පී.කේ. හේවාවසම්ගේ මාර්ගෝපදේශ යටතේ සහ ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය අනුග්‍රහය ඇතිව පළමු වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ කුට්ටිගල අනුකණ්ඩයේ නිලධාරී අණදෙන මේජර් කේ. ඩී. ගොරකපිටියගේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.
 
පළමු වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී.එස්. දේමුණි, නිලධාරීන් සහ භට පිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.