‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී

ජනවාරී 19, 2022

‘විනය’ සහ ‘කැපවීම’ ඉහළ මට්ටමක පවතින සොල්දාදුවෙකුගේ කායික හා මානසික ශක්තිය සමඟ ඕනෑම යුදමය තත්ත්වයකදී අභීයෝගයන්ට මුහුණදිය හැකි යුද සෙබලුන් නිර්මාණය වේ.

ඕනෑම තත්ත්වයකදී අභියෝගයන්ට මුහුණදිය හැකි ප්‍රබලම කාර්ය සාධක බලකාය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සොල්දාදුවෙකු තම අවිය හැසිරවීමට මනා පුහුණුවක් හා හැකියාවක් තිබිය යුතුය.

සොල්දාදුවෙකුගේ වෘත්තීය ජීවිතය තුළ සජීව වෙඩි තැබීමේ පුහුණුවට ප්‍රමුඛත්වයක් ලබාදෙන අතර එමගින් ආරක්‍ෂක භූමිකාවන්ට අනුරූප වන ස්වයං විනය සහ කැපවීම තවදුරටත් ඔප්නැංවෙනු ඇත.

ඒ අනුව, යුද්ධ හමුදා සුළු අවි සංගමයේ අධීක්‍ෂණය යටතේ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල විසින් පවත්වනු ලබන ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ ඉරිදා (16) දින දියතලාව ක්ෂේත්‍ර වෙඩි පිටියේදී ආරම්භ විය. මෙවර තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ එක් කාන්තා කණ්ඩායමක් ඇතුළු වෙඩිතැබීමේ කණ්ඩායම් 34 ක් සහභාගි වුහ.

යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් විපුල ඉහළගේ විසින් අණදෙන ‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙස වඩාත් ප්‍රචලිත දියතලාව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල විසින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු ‘ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020-2025’ ට අනුකූලව සංවිධානය කළ මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය ජනවාරි මස 29 වන දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

තරඟාවලිය සඳහා සහභාගි වු කණ්ඩායම් 34 ‘ආධුනික විවෘත’, ‘විවෘත ඉසව්ව’ සහ ‘ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ඉසව්ව’ යන ඛාණ්ඩ යටතේ තරඟ වැදුණු අතර ‘විවෘත’ ඛාණ්ඩය යටතේ කණ්ඩායම් 21 සහ ‘ආධුනික විවෘත’ ඛාණ්ඩය යටතේ කණ්ඩායම් 13 ක් සඳහා තරඟ ඉසව් පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඛාණ්ඩයේ තරඟය සඳහා අණදෙන නිලධාරී ධූරය හොබවන ලුතිනන් කර්නල් නිලය සහ කර්නල් නිලයේ නිලධාරින් සඳහා තරඟ පැවැත්වෙන අතර බ්‍රිගේඩියර් නිලයේ සහ ඉන් ඉහළ නිලයන් සඳහා වෙනම උප ඛාණ්ඩයන් යටතේ තරඟ පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරඟාවලියට සහභාගී වන තරඟකරුවන් සඳහා කිලෝ මීටර් 9 ක් දිවීම, මීටර් 300 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම්, මීටර් 200 ක පරාසයක් තුළ වාර 20 ක් වෙඩි තැබීම්, මීටර් 100 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම් සහ මීටර් 50 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම යන ඉසව් සඳහා සහභාගී වී තරඟවැදීමට සිදුවනු ඇත.

යුද්ධ හමුදා සුළු අවි සංගමය වෙතින් ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ තරඟාවලිය පවත්වනු ලබන්නේ වෙඩිතැබීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, බලඇණිවල සියලු නිලයන් අතර සහෝදරත්වය වර්ධනය කිරීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන තරඟාවලීන් සඳහා දක්‍ෂතා ඇති වෙඩික්කරුවන් තෝරාගැනීම යන අභිමතාර්ථයන් සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් පවත්වනු ලබයි.

අනුග්‍රහය - www.army.lk