උතුරු පළාතේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමට නාවික හමුදාවෙන් ව්‍යාපෘතියක්

ජුලි 06, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා (ජූලි 04) යාපනය කරෛයිනගර් ආශ්‍රිත මුහුදේදී ඩ්‍රැගන් බෝට්ටු (Dragon Boats) තරඟාවලියක් පවත්වන ලදී. ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම, ජීවිතාරක්ෂක ක්‍රම පිලිබඳ දැනුවත් කිරීම සහ නාවික හමුදාව හා උතුරු ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙම තරගාවලිය පවත්වන ලදී.

එහිදී, පාසල් 08 ක් නියෝජනය කල අන්තර් පාසල් තරඟාවලියේ ශූරතාවය යාපනය වියවිල් ශායිවා විද්‍යාලය දිනාගැනීමට සමත් වූ අතර, එහි අනුශූරතාවය යාල්ටන් විද්‍යාලය විසින් දිනාගන්නා ලද බව නාවික හමුදාව පවසයි.

එහි අන්තර් නෞකා තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට උතුරු නාවික විධානයේ දියත් අංශය සමත් වූ අතර, එහි අනු ශූරතාවය ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය විසින් දිනාගැනීමට සමත් විය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය, ලංකා ජීවිතාරක්‍ෂක සංගමය සහ උතුරු පළාතේ ක්‍රීඩා සංගම් ඇතුළු සිවිල් සංවිධානයන්ගේ දායකත්වයෙන් නාවික හමුදාව විසින් මෙම තරගාවලිය පවත්වන ලදී.

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්ෂණය යටතේ මෙම ජල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටි බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.