කල්පිටිය මුහුදේදී ආපදාවට පත් යාත්‍රාවක සිටි දේශීය සංචාරකයන් 38 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදවා ගැනේ

ඔක්තෝම්බර් 02, 2022

කල්පිටිය සිට බත්තලංගුණ්ඩුව දුපත වෙත දේශිය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී, මුහුදු ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදවා ගැනීම‍ට ශ්‍රි ලංකා නාවික හමුදාව අද (2022 ඔක්තෝබර් 01) පස්වරුවේ කටයුතු කරන ලදි.

අංක CN/34/4 යටතේ සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලියාපදිංචි කර ඇති ඩ්‍රීමි ට්‍රැවල්ස් නමැති ට්‍රෝලර් යාත්‍රාව කල්පිටිය ජැටියේ සිට බත්තලංගුණ්ඩුව දූපත වෙත දේශීය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී එම යාත්‍රාවේ පතුල ප්‍රදේශයෙන් යාත්‍රාව තුලට මුහුදු ජලය කාන්දුවී යාත්‍රාව ආපාදාවට පත්වී ගිලීයාමේ අවදානමට පත්වී ඇති බවට, එම යාත්‍රාවේ හිමිකරු විසින් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත අද (2022 ඔක්තෝබර් 01) දහවල් දැනුම් දීමක් සිදුකරන ලදි. එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත පී 152 හා පී 228 යන වෙරළබඩ මුර යාත්‍රා සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 202 යන වෙරළබඩ මුර යාත්‍රාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයට පිටත් කර හැරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා යාත්‍රා මඟින් ආපදාවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි ක්‍රියාකරුවන් තිදෙනකු සමඟ පිරිමි පුද්ගලයන් තිස් දෙදෙනෙකු (32) සහ කාන්තාවන් හය දෙනෙකු (06) ඇතුළු දේශීය සංචාරකයන් තිස් අ‍ට දෙනෙකු (38) මෙලෙස නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, කල්පිටිය ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

තවද, ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ශ්‍රි ලංකාවට අයත් සාගරික සෙවිම් හා මුදවා ගැනීම් කළාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා නිරන්තර සූදානමින් සිටී.

අනුග්‍රහය - www.navy.lk