සාමය උදාකිරීමේදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය
ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට

නොවැම්බර් 10, 2022

අද අපි භුක්ති විදින සාමය උදාකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පමණක් නොව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විශාල දායකත්වයක් ලබාදුන් බව ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අද (නොවැ 10) පැවසීය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙහි මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සොයා බැලූ ආරක්‍ෂක ලේකම්වරයා එහි අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික) ප්‍රමුඛ ඉහළ පරිපාලන නිලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව ද අවධානයට ලක්විය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ගෞරව සම්මාන මුරයක් සහිතව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් විසින් පැළයක් රෝපණය කිරීමද සිදුවිය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය අමතමින් ආරක්‍ෂක ලේකම්, යුද සමයේදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් අත්විඳි දුෂ්කරතා සිහිපත් කළ අතර, දිවයිනෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනේදී හිටපු සිවිල් ආරක්‍ෂක සාමාජිකයින්ගේ කැප වූ සේවය පිළිබඳව ද සඳහන් කළේය.

මෑතකදී සිදුවූ සිදුවීම් කිහිපයක් උපුටා දක්වමින් ජෙනරල් ගුණරත්න පැවසූයේ, පසුගිය සමයේදී ත්‍රිවිධ හමුදාවට චෝදනා කළ අයවළුන් ත්‍රස්තවාදීන් සමග යුද්ධයේදී තම දෙමාපියන් විඳි දුෂ්කරතා නොදැන සිටි බවය.    

මේ සියලු විවේචන නොතකා මෙම සුවිශේෂී නිල ඇඳුමෙන් සැරසී සිටීම ඔබ සැමට ආඩම්බරයක් බව කියා සිටි ආරක්‍ෂක ලේකම්, අපි අපේ තාරුණ්‍යය කැප කරමින් උදාකළ, අද භුක්ති විදින සාමකාමී වාතාවරණය අපට පමණක් නොව නැඟී එන අනාගත පරපුරට ද ළගා කර දුන් පරිසරයක් බව මතකයේ තබා ගන්නා ලෙසද  පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන අතිරේක ලේකම් සමන් දිසානායක මහතා, හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.